Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Navigation
 Home

 Search

 Discussions
 Forums
 Shout Box
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites






Keep SLU Alive



Live Radio
Selected station:
No choice made yet



<a href=''>Play No choice made yet</a>

PopUp


Network

Birthdays

Birthdays today:
20.10: hansi
20.10: imesha munasinghe


Enter your Birthday

SL-Unlimited :: View topic - Gusi sama thyagayen pidum lebu Deepika Priyadharshani (P:3)
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

Gusi sama thyagayen pidum lebu Deepika Priyadharshani (P:3)
Goto page 1, 2, 3  Next
 
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Movies & Stars
View previous topic :: View next topic  
Author Message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Sat Feb 12, 2011 3:41 am    Post subject: Gusi sama thyagayen pidum lebu Deepika Priyadharshani (P:3)

ඊයේට (12) යෙදුණු එච්.ආර්.ජෝතිපාලයන්ගේ 75 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙනි
විජයගේ අනාවැකිය ඉටු කළ ජෝති

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල නොහොත් එච්.ආර්.ජෝතිපාල නමැති අසහාය ජෝතිමත් ගායකයා ජීවතුන් අතර සිටියේ නම් ඊයේ (12) ඔහු සමරන්නේ සිය හැත්තෑපස්වැනි උපන් දිනයයි.

1936 පෙබරවාරි 12 වැනිදා ඉපදී 1987 ජූලි 7 වැනිදා ජීවිතයෙන් සමුගත්තත් ජෝති ‘මියගියා’ යයි කිව නොහැක්කේ ඔහු මේ මොහොතේ පවා ගීතලෝලී හදවත්හි ජීවමාන වන නිසාය. වසර පනස් එකකුත් මාස හතරක් මෙලොව දිස් වූ ඔහුගේ රූපකාය ඉකුත් විසිහතර වසරේදී නොපෙනුණා මිස ඔහුගේ ආදරණීය ගී හඬ රැව් නොදුන් දිනයක් එම කාලය පුරාම සෙවිය නොහැකිය.

විජය කුමාරතුංගයන් ඝාතනය කරන්නට දින හතරකට පෙර ජෝති පිළිරුව විවෘත කළදා (1988 පෙබ.12) ටවර් රඟහලේ පැවැති ජෝතිගේ 52 වැනි ජන්ම දින සමරුවේදී පැවසුවේ මේ මහා කලාකරුවාගේ ජන්ම දිනය මතු උපදින පරපුර ද සමරනු ඇති බවයි.

විජයගේ ඒ කියමන අද යථාවක් බවට පත්ව තිබෙනු පෙනේ.

නෙතින් ජෝති නුදුටු නව පරපුරක් ද සවනින් ඔහුගේ මාධූර්ය ගී හඬ අසා හදවතින් ඔහුට බැඳී ඇති සේය.

බාලේ පටන්ම ආර්ථික අගාධයක සිටි ජෝති තරම් අන්ත දුක් විඳි වෙනත් කලාකරුවකු හෝ කලාකාරියක මෙරට නැතැයි කීම අතිශයෝක්තියක් නොවේ.

දිළිඳු බවේ ප්‍රහාරයන්ගෙන් ලද පන්නරයම ජීවිතය ජයගැනීමට ජෝතිට රුකුලක් විය.

මංගල සාදයක හින්දි ගී ගයා හාපුරා ගෙවීමක් ලෙස ‘රුපියලක්’ ලැබූ ජෝති මිය යන මොහොත වන විට ශ්‍රීී ලංකාවේ ඉහළම ගෙවීමක් ලැබූ ගායකයා බවට පත්ව සිටියේ ප්‍රාතිහාර්යයකින් නොව ඔහුගේ උත්සාහයට හා කැපවීමට පින්සිදු වන්නටය.

එහෙත් ඔහු හදවතේ දයාව සේම ඉපයූ සියල්ල ද සියල්ලන්ටම ප්‍රදානය කළේය. ජෝති දකුණතින් දුන් දේ වමත නොදත් බව ධර්මසිරි ගමගේ සූරීන් පැවසුවේ එබැවිනි. ඉහළම ගෙවීම ලබන අවදියේ වුවද හිතවත් බවට මුල් තැන දුන් ඔහු නොමිලයේ ගී ගැයූ චිත්‍රපට තැටි, කැසට් හා ප්‍රසංග සංඛ්‍යාව අපමණය.

වරක් දුරබැහැර ප්‍රසංගයකට වැස්සෙන් බාධා වී ප්‍රවේශ පත්‍ර අලෙවිය මදි වී සංවිධායකයා අන්ත අසරණ විය.

එබැවින් අයකිරීම් අඩුකර සහායක් දෙන ලෙස එහි සිටි ගායක ගායිකාවන්ගෙන් ඉල්ලා සිටියත් ඔහුට ලැබුණේ අකාරුණික ප්‍රතිචාරයකි.

වහා ඔහු වටහාගත් ජෝති පෙට්රල් බිල හෝ නොගෙන ලතා සමඟ නොමිලයේම ගී ගැයුවේ සංවිධායකයාගේ නෙත් කඳුළෙන් හා හදවත බැතියෙන් පුරවමිනි. එහිදී එක් ප්‍රබුද්ධයකු මුළු ගෙවීම ඉල්ලූ විට දිය නොහැකි වූ සංවිධායකයා ඊට හිලව් ලෙස තමා කර පැලඳ සිටි රන් මාලය ගලවා ගායකයාට දුන්නේය.

ගායකයා ගී ගැයුවේ රන් මාලය ද අතේ ගුලිකරගෙනය.

මේ ජෝතිගේ අප්‍රමාණ මනුෂ්‍යත්වය පිළිබඳ උදාහරණ ලක්ෂයකින් එකක් පමණි. ‘එච්.ආර්.’ කියන්නේ ‘හදවත රත්තරන් කියා නිහාල් නෙල්සන් ගායකයාණන් පැවසුවේ මේ මිනිස්කම් නිසාමය. වාණිජ බැංකුවල, ඉතිරි කිරීමේ ගිණුම්වල, සතපහක් ඉතිරි නොකළත් ජන හදවත් බැංකුවල ජෝති මිනිස්කම පිළිබඳ මතකය ඉතිරි කළේය.

ජෝති උපන්නේය. ජීවත් වූයේය. ‘දැනෙන්නට’ මිය ගියේය. මරණින් පසුව උත්ථාන වූයේය.

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


“මේ රට තියෙන තුරා එච්.ආර්.ජෝතිපාල සදාකල්හිම මේ රටේ රැඳෙනව කියන එක අපට විශ්වාසයි.” යනුවෙන් විජය කුමාරතුංගයන් එදා කී පරිද්දෙන්ම ජෝති තවදුරටත් ජෝතිමත්ව ‘ජීවමාන’ වනු ඇත.



ආනන්ද පද්මසිරි

Source : Silumina 2011/02/13


Last edited by chajee1983 on Fri Sep 21, 2012 5:33 am; edited 19 times in total
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Sun Feb 13, 2011 3:09 am    Post subject:

මහ ගායකයකු පමණක්‌ නොව
උත්තරීතර මිනිසකු වූ ජෝතිපාල


එච්. ආර්. ජෝතිපාල කලාකරුවාණන්ගේ 75 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙනි

විශිෂ්ට මිනිසුන් මිය යන්නේ නැත. ඔවුහු නාමෂේෂභාවෝපගත වෙති. එච්. ආර්. ජෝතිපාල නම් විශිෂ්ට නායකයාද එසේය. කය මෙලොව නැති වුවද ඔහුගේ හඬ මේ ශ්‍රී ලාංකික ධරණි තලය තුළ නිබඳවම රැව් පිළිරැව් දෙන්නේය.

ජෝතිපාල සිංහල සිනමා වංශ කථාවේ වෙනම පරිච්ඡේදයක්‌ සනිටුහන් කළ අතිශය ජනප්‍රිය ගායකයෙකි. ඔහුගේ හඬ නොගැලපුණු රංගන ශිල්පියෙක්‌ සිංහල සිනමාවේ නොමැත. ඔහුගේ හඬ දුෂ්ඨයාට පෙම්වතාට , වීරයාට පමණක්‌ නොව ඕනෑම වර්ගයකට ගැලපුනේය.

ජෝතිපාලගේ ගායන දිවියේ ස්‌වර්ණමය යුගය ඇරඹෙන්නේ අපේ රටේ මහා ජයග්‍රහණ රැසක්‌ උදාවූ වර්ෂයක වීම දෛවෝපගත සිද්ධියකි. ඒ 1956 වසරයි. එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිතුමාගේ නායකත්වයෙන් මහා දේශපාලන විපර්යාසයක්‌ සිදුවුණේ 1956 වසරේදීය. සිංහල සිනමාවේ නව නැම්මක්‌ සනිටුහන් කළ ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරීස්‌ ගේ "රේඛාව" චිත්‍රපටය, සිංහල නවකථා කලාව ඉහළම තලයකට ගෙනා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය, සිංහල නාට්‍ය කලාවේ මල්වර මංගල්‍ය ලෙස හැඳින්විය හැකි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මනමේ" නාටකය වැනි විශිෂ්ට නිර්මාණ බිහිවුණේ ද 1956 වසරේදීය. එච්. ආර්. ජෝතිපාල සුරතලී චිත්‍රපටයේ "සිරියාමෙ සාරා" යන ගීය ගයමින් රසිකයන්ගේ මන මෝහනය කරමින් සංගීත ලෝකයට පිවිසියේ ද 1956 වසරේදීය.

මේ අවස්‌ථාවේදී මේ ශේ්‍රaෂ්ඨ ගායකයාගේ කලා ජීවිතය සම්බන්ධයෙන් මා අසා තිබෙන - මා කියවා තිබෙන බොහෝ කරුණු මගේ මතකයට නැගේ. මා කලින් සඳහන් කළ සුරතලී චිත්‍රපටයට සිරියා මේ සාරා නම් ගීතය ගායනා කරන්නට කලින් සිරිසේන විමලවීරගේ "පොඩි පුතා" චිත්‍රපටයේ ඔහු ගීයක්‌ ගයා තිබේ. එහෙත් එම ගීතය පොඩි පුතා චිත්‍රපටයට ඇතුළත් නොවීය. එයට හේතුව ලෙස සඳහන් වූයේ එම චිත්‍රපටයේ සංගීතය මෙහෙය වූ ඉන්දියානු සංගීතඥයා ජෝතිපාලයන්ගේ හඬ චිත්‍රපටයට සුදුසු මදි යෑයි සිතීමයි. ඒත් පුදුමය එය නොවේ. මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකීය සංගීත ලෝලී ජනතාව ජෝතිපාලයන්ගේ මනමෝහනීය ගීත හඬ තේරුම් ගැනීමයි. එදා ඔහුගේ අවමංගල්‍ය දිනයේ කොළඹ කලා භවනේ සිට බොරැල්ල කනත්ත දක්‌වා මංමාවත් පුරා ඉතිරී පැතර ගැලූ ජන ගංගාව මගින් පළවූයේ ඒ සත්‍යතාවයි.

ජෝතිපාල නම් මහා ගායකයාගේ ගායන හැකියාව ගැන පමණක්‌ නොව ඔහු තුළ පිරී ඉතිරි ගිය මිනිස්‌කම ගැන ද අපි දනිමු. ඔහුගේ ඇඳිවත පවා දුප්පතුනට දුන් කතා අප අසා ඇත. නිහතමානී බව, සුහද බව, ලෙන්ගතු බව ඔහු තුළ නොඅඩුව තිබූ බව ඇසුරු කළ සැවොම දනිති.

මේ මහා ගායකයාගේ අඩුව අද සිංහල සිනමාව පත්ව ඇති තත්ත්වය දෙස බලද්දී මනාව පසක්‌ වේ.

ටී. බී. ඒකනායක


Source : Divaina 2011/02/13
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 1:15 am    Post subject:

සිංහල ගීතය, සංගීතය හා අසහාය සෞන්දර්යාලෝකය


පෙබරවාරි මස 24 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන චමත්කාර ප්‍රාසංගික උලෙළේදී වික්‌ටර් රත්නායක සංගීතවේදීයාණන්ගේ හතළිස්‌ පස්‌ වසරක සංගීත සේවාවට උපහාර ප්‍රණාම පිරිනැමේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අදින් අඩසියවසකට ප්‍රථම කන්ද උඩරට කඩුගන්නාවේ නුවර කොළඹ මාර්ගයට මුහුණ ලා පිහිටි දුම්රිය දෙපාර්තමේන්තු නිවාස පේළියේ එක්‌තරා නිවසක සංගීත සාඡ්ජයක්‌ පැවැත්විණ. සර්පිනා, බටනළා, තබ්ලා, මැන්ඩලීන් වැනි සංගීත භාණ්‌ඩවලින් මුසු වූ සිංහල, දෙමළ හිනදි ගීත නාදයට වහ වැටී හුන් නව යොවුන් තරුණයෙක්‌ හීන් සීරුවේ එතැනට රිංගා ගත්තේය. සාඡ්ජකරුවන් මධුවිතකින් තොල කට තෙමා ගන්ට ගිය ඇසිල්ලේ මේ තරුණයා තම සිත ඇදී ගිය සංගීත භාණ්‌ඩයට ළං වූයේය. ඒ වූකලී දෙපයින් පාගමින් වාදනය කළ ෆුට්‌ බෙලෝ ස්‌ර්පිනාවකි. පුටුවේ වාඩි ගෙන බෙලෝ දෙක පාගමින් සරපුවරුවේ සිය ඇඟිලි ඔබ මොබ යවමින් සිටි ඔහුට සිය මන දොළ සපුරා ගන්ට ලැබුණු කාලය මොහොතකින් නැවතිණ. කවුරුන් හෝ කන තදින් මිරිකූ අතර හිසට ටොකු පහරක්‌ද නොමදව ලැබිණ. ඔහු එතැනින් පිටමං කෙරුණේ සැර පරුෂ බැණ වැදීමක්‌ද සමගය.

එදා එසේ එළවා ගනු ලැබූ තරුණයා තවත් කලක්‌ ඇවෑමෙන් රසික ජන හදවත් අලළවා සසලවා ඔවුන් අනන්තානන්දයෙන් මුසපත් කරවීමේ දුර්ලභ වාසනා ගුණ පරිපූර්ණ මහා කලාකරුවෙක්‌ වූයේය. ඒ, නිසර්ග සිද්ධ වශයෙන් උරුම කරගත් අසාමාන්‍ය කර්ණාමෘත මධුර ලලිත ස්‌වරයත්, සංගීත කලා නිර්මාණ විෂයක අතුල්‍ය ප්‍රතිභා ශක්‌තියත් හේතු කොට ගෙනය. මෙකී තරුණයා අද වන විට මෙරට ගීත සංගීත ක්‍ෂේත්‍රයේ අභ්‍යාදය පිළිබඳ කථා ප්‍රවෘත්තිය තුළ අප්‍රමාණ මිනිසෙකි. පුරා පන් සාළිස්‌ වසක්‌ තිස්‌සේ ශ්‍රී ලාංකේය සංගීත කලා ක්‍ෂේත්‍රය භාව පූර්ණ රස පූර්ණ නිර්මාණ පල සම්පතින් සුපෝෂණය කළ මහා සංගීතවේදී වික්‌ටර් රත්නායක මේ අප්‍රමාණ මිනිසාය.

ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස සිය ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කිරීමට ඔහුට අවස්‌ථාව ලැබිණ. ඒ, එක්‌දහස්‌ නවසිය හැටපහේදීය. ප්‍රථම ගීතය වූයේ අරිසෙන් අහුබුදු රචනා කළ "සිඳ බිඳ මොහඳුරු පාප නමැති ගීතයයි. එකී ප්‍රථම සරල ගී වැඩසටහනට අහුබුදු ලියූ ගොළු මුහුදේ මුතු ඇටය යන ගීතයත්, පුණ්‍යසිරි මහවත්ත ලියූ ඈත පෙනෙනා හිමව් කඳු මත යන ගීතයත් ඇතුළත් විය. මේ ගීත ත්‍රිත්වයම වික්‌ටර් රත්නායක විසින් නිර්මිත තනු රචනාය. වෙළෙඳ සේවය සඳහා ඉදිරිපත් කළ ප්‍රථම සරල ගී වැඩසටහනට ඇතුළත් වූ හේම ශ්‍රී අල්විස්‌ රචනා කළ "මයුරාසන මත වැඩ හිඳිනා" යන ගීතයත් සුජාතා අත්තනායක යුග ගායනයෙන් දායක ව "ඔබෙ සෙවණැල්ල වාගේ එමි" යන ගීතයත් ජනප්‍රියත්වයට පත් විය. ඉනික්‌බිතිව සිංහල ගීත ශ්‍රාවකයන් අතර වික්‌ටර් රත්නායක යන නාමය ප්‍රචලිත වූයේ මීගොඩ විල්සන් රචනා කළ මර්වින් පෙරේරා ගී තනු නිර්මාණය කළ පාවේ වලා, සෝක සැනසුම් වේදනා යන ගීත යුග්මයත් සෙන් වීරසේකර රචනා කළ සිහිල් සුළං රැල්ලේ ගීතයත් සමඟිනි. සිහිල් සුළං රැල්ලේ ගීතය ඔහු ගායනා කළේ සරල ගී වැඩසටහනක්‌ සඳහාය.

වික්‌ටර් රත්නායක ගායන ශිල්පියකු ලෙස ක්‍ෂේත්‍රාගමනය කරද්දී රසඥතා ස්‌ථල දෙකක්‌ පැහැදිලිව හඳුනාගත හැකි වූයේය. ඉහළ ගණයේ කලා කෘති සේවනය කළ සුළුතරය හා ජනප්‍රිය - බොහෝ විට මධ්‍යම හා අවර ගණයේ නිෂ්පාදන මගින් තෘප්තියට පත් වූ බහුතරයයි. වික්‌ටර් රත්නායක මේ දෙපාර්ශ්වයම ආමන්ත්‍රණය කිරීමේ ප්‍රබල එමෙන්ම බහුජන ගෝචර, කාලයෝග්‍ය ශක්‍යතාවලින් සමෘද්ධව සිටියේය. ඔහුගේ භාග්‍යය තවත් ආකාරයකින් ජවසම්පන්නව තිබිණ. එනම්, එවක ප්‍රවීණ නවීන උභය ස්‌තරයෙහිම වඩාත් ප්‍රතිභාපූර්ණ වූ ගීත රචකයන් ඔහු වටා ඒකරාශී වීමයි. විශේෂයෙන් හැත්තෑව දශකයේදී සිය රචනා චාතූර්යය උරගා බැලූ අභිනව ප්‍රබන්ධකයෝ සිය නිර්මාණ වික්‌ටර්ගේ හඬින් අසන්ට රුචි කළහ. ඔවුන්ගේ අර්ථ සම්පන්න ප්‍රිය සමාගමය ද වික්‌ටර්ගේ සංගීත කලා චර්යාව සරුසාර කරන්ට හේතු විණ.

වික්‌ටර් රත්නායක ගායනා කළ ගීත අති බහුතරය ඔහු විසින්ම නිර්මිත තනු රචනාය. මෙයද ඔහුගේ ගායනවේද භූමිකාව තුළ ප්‍රකට වන විශේෂ ලක්‍ෂණයකි. ගායනය සඳහා උචිත සාහිත්යික රචනා තෝරා බේරා ගැනීමත් ඒ රචනා තනු සම්පාදනය කොට සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කිරීමත් මධුර චාරුතර ස්‌වරයෙන් රසිකයා හමුවට පැමිණවීමත් යන සෑම අදියරකදීම වික්‌ටර් රත්නායක ප්‍රකට කර ඇති කෞශල්‍යය ගායනය හා සංගීත නිර්මාණය යන උභයාංශයෙහිම පงපාක පත් සංගීතවේදියෙකුගේ අනන්‍යතාව පිළිඹිබු කරන කැඩපතකි. වික්‌ටර් රත්නායක අමරදේව ඇතුළු ප්‍රබුද්ධ ගායක ගායිකාවන් බොහෝ දෙනෙකු සඳහා ගීත නිර්මාණය කොට දී තිබේ. එම ගීත බහුතරය "ගීත සේ කටපුරා හැඳින්විය හැකි අර්ථ පූර්ණ, රස පූර්ණ සාහිත්යික ගුණයෙන් අනූන රචනාය. එම රචනා සඳහා වික්‌ටර් නිර්මාණය කළ ගී තනු ගීතයේ සංචිත භාවාර්ථ කුළුගැන්වීමෙහිලා ඉවහල් වූයේ මතු නොව සංගීතඥයාගේ නාදමය ආමන්ත්‍රණයෙහි මාධූර්යයත් සාහිත්‍ය සංගීත සමායෝගයෙහි අත්‍යන්ත සෞන්දර්යයත් ඉතා මැනවින් ප්‍රකට කළ නිර්මාණ වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සමන්ත හේරත්


Source : Divaina 2011/02/20
Back to top
View user's profile Send private message
suji
Founder
Founder


Joined: Nov 12, 2007
Posts: 26407
Location: under world

PostPosted: Sun Feb 20, 2011 5:13 am    Post subject: Re:

වික්ටර්ගෙ සමහර සිංදු ඇහෙද්දි නම් මට හොඳට නිදිමත එනවා. Mr. Green
_________________
Back to top
View user's profile Send private message Yahoo Messenger MSN Messenger
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Sun Feb 20, 2011 10:04 am    Post subject: Re:

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!

Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


Source : Lakbima 2011/02/20
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Sat Feb 26, 2011 3:47 am    Post subject: Eka Hadawathai, Eka Adarayai - Bob Marley

එක හදවතයි එක ආදරයයි
බොබ් මාලේ



“...මගේ තාත්තා සුදු. අම්මා කළු. ඒ දෙපැත්තටම නැති මම ඉන්නේ දෙවියන් වහන්සේ ගේ පැත්තේ. මම සුද්දෙක් වෙනවද – කල්ලෙක් වෙනවද කියන කාරණය තීරණය කරන්න ඇත්තේ දෙවියන් වහන්සේ වෙන්න ඕනේ...”

ඇත්තටම දෙවියන් වහන්සේ මොන වගේද? කල්ලෙක් ද? සුද්දෙක් ද? කළු මිනිසුන්ට වෙනම දෙවි කෙනෙක් ඉන්නවද? නැතිනම් සුදු මිනිසුන්ගේ දෙවියන්ම ද කළු මිනිස්සු දිහා බලන්නෙත්..””

මේ අපූරු ප්‍රකාශ නිකුත් කළ ගායකයා, වාදකයා, සංගීතඥයා සහ ගීත රචකයා වරෙක මුළු ලෝකයටම කීවේ ”One Love – One Heart” කියාය.

බොහෝදෙනෙකු මේ ගායකයා හඳුන්වන්නේ රෙගී සංගීතයේ පුරෝගාමියා හැටියටය. එය කරුණ හැටියට ගත් විට ඇත්තකි. එහෙත් බොබ් මාලේ නම් මේ අපූරු නිර්මාණකරුවා; සොඳුරු විප්ලවවාදියෙකි. ඒක පුද්ගල කැරලිකරුවෙකි. ඔහුගේ ගීත හා සංගීතයත් පද රචනාවත් සියල්ල එක්තරා ආගමික විශ්වාසයක් මත පදනම්ව පවතී. එය හැඳින්වෙන්නේ රස්ටෆාරි (Rastafari) යනුවෙනි. බොබ් මාලේ මෙලොව හැරයෑමට පෙර එකම එක් වාක්‍යයක් කීවේය. එහි ඇත්තේ වචන හතරකි.

”Money Can’t buy Life” මරුවා පෙනි පෙනී ඔහු තම පුත්‍රයා සිගී අමතමින් එසේ කීවේය.

බොබ් මාලේ තුන්වැනි ලෝකයෙන් බිහි වූ පළමු සුපිරි පොප් තරුව ලෙස ඉතිහාස ගත වී ඇත. 1999 දී සුප්‍රකට ‘ටයිම්’ සඟරාව; බොබ් මාලේ ගේ හා වේලර්ස් සංගීත කණ්ඩායමේ Exodas ගීත ඇල්බමය 20 වැනි ශතවර්ෂයේ හොඳම ඇල්බමය ලෙස තෝරා ගත්තේය. බොබ් මාලේට 2001 දී Grammy Life time සම්මානය පිරිනැමිණ. මේ සියල්ල සිදුවන්නේ ඔහු මොලාව හැර ගොස් දශක දෙකක් පමණ ගත වූ පසුවය.

බොබ් ජීවතුන් අතර සිටියදී සම්මාන රැසක් දිනාගත්තේය. හෙතෙම මරණයෙන් පසුව ද සම්මානයට පාත්‍ර වෙයි. බොබ් මාලේ ගේ ඕනෑම ගීතයක් ඕනෑම කාලයකට වලංගුය. තව ශත වර්ෂයක් ගෙවුණ ද ”One heart – One love” වැනි ගීතයක් රසවිඳිය නොහැක්කේද?

බොබ් මාලේ සමඟ කියැවෙන අනිත් නාමය නම් වේලර්ස් සංගීත කණ්ඩායමයි. බොබ් වේලර්ස් සුසංයෝගය හේතුකොට ගෙන සංගීත ලෝකයට සර්වකාලීන වස්තු රැසක් හිමිවිය. 1960 දශකයේ සිට මේ දක්වාම බොබ් මාලේ ගේ ගීත ජයප්‍රියත්වයේ පවතින්නේත් – එය මතු අනාගත පරම්පරාවන් විසින් රස විඳිනු ඇති බවට සැකයක් නැත්තේත් විශ්වය විසින් බොබ් මාලේ ලා දෙදෙනකු නිර්මාණය කැර නැති හෙයිනි.

තුන්වැනි ලෝකයෙන් බිහිවූ පළමුවැනි අනුහස් ඇති ගායකයා සමස්ත ලෝකයේම තම අනන්‍යතාව තහවුරු කොට ඇත්තේ අන් කිසිවකින් නොව තම සංගීත භාවිතයෙන්මය. එහෙත් ඔහුගේ ජීවිතය ඉතා කෙටි කලකට සීමා විය.

නෙස්ටා රොබට් මාලේ, 1945 පෙබරවාරි 06 දා උපන්නේය. 1981 මැයි 11 දා මෙලොව හැර ගියේය. ඔහු මෙලොව ගත කළේ වසර 36ක කාලයක් පමණි. පසුකලෙක බොබ් මාලේ නමින් ලෝකයට නැවුම් – හරවත් - පෙරළිකාර සංගීතයක් හදුන්වා දුන්නේ මොහුය.

නෙස්ටා රොබට් ගේ පියා ඉංග්‍රීසි ජාතික නැව් කපිතාන්වරයකු විය. මව - කැඩෙලා බෲකර් අප්‍රිකානු - ජැමෙයිකන් සම්භවයකින් පැවත එන කළු ජාතික කාන්තාවකි. මාලේ ට යාන්තම් වයස අවුරුදු 10 පිරෙද්දී ඔහුගේ පියා මෙලොව හැර ගියේය. පියාගේ හෝ මවගේ සංස්කෘතික උරුමයන් කරපින්නා නොගන්නා ඔහු ඒ දෙකෙහිම සාර්ථක සමතික්‍රමණයක යෙදෙයි. එහි ප්‍රතිඵලය නම් බොබ් මාලේ කෙනෙකු ලොවට බිහිවීමය.

ජැමෙයිකාවේ පැවැති සමාජ දේශපාලන පසුබිම පදනම් කැර ගනිමින් බොහෝවිට ඔහු තම සංගීත නිර්මාණ බිහි කෙළේය. එහෙත් ඒවා කර්ණකටුක විරෝධාකල්ප ගීත බවට පත් වූයේ නැත. තම අත්දැකීම් ඔහු විශ්වයේ පොදු මානව අත්දැකීම් බවට පත් කළේ තමන්ට අනන්‍ය වූ සංගීතය පෙරළිකාර පද රචනා සහ විප්ලවකාරී කටහඬ යොදා ගනිමිනි.

කිසියම් ආගමික හා දේශපාලන දැක්මක් (රාස්ටෆාරි) ඔහු ගේ සෑම නිර්මාණයකින්ම විහිදෙයි. ඒවා එක් අතකින් ආධ්‍යාත්මිකය. අනෙක් පැත්තෙන් කැරලිකාරීය. බොබ් මාලේ ගේ ගීත අපට හැෙඟන්නේ, දැනෙන්නේ එහෙමය. වෙනත් අයෙකුට වෙනස්ම දෙයක් දැනෙන්නට පුළුවන. ඒ හපන්කම කළ අතළොස්සක් ගායකයන් අතරින් බොබ් මාලේ කැපී පෙනෙයි.

ඔහු ගේ පද රචනා සඳහා යොදා ගෙන ඇත්තේ ඉතා සරල වචනය. එහෙත් ඒවා ඇසෙන විට හදවතට කිඳා බැස ගැඹුරින් තැන්පත් වෙයි. දහසක් දෙනා ගත් විට ඒ දහසක් හදවත්වලට බොබ් මාලේ ලා දහසක් ඉපදී ඇති බැව් හැඟෙයි. එහෙත් ලොව සිටියේ එකම එක බොබ් මාලේ කෙනෙකු පමණි. එකම නිර්මාණය විවිධාකාර ලෙස පෙනෙන හැටි!

බොබ් මාලේ තම මුල්ම ගීත ද්වය ප්‍රසිද්ධ කරනුයේ 1962 දීය. ඒ බනී වේලර් නම් සංගීතඥයා ගේ ආධාර උපකාර ඇතිවය. 1966 දී ඔහු විවාහ වන්නේ, ඒ වන විටත් මවක් හා බිරිඳක බවට පත්ව වුන් රීටා ඇන්ඩර්සන් සමඟය.


කෙසේ වෙතත් බොබ් මාලේ දරුවන් එකොළොස් දෙනෙකුට තාත්තා කෙනෙකු විය. රීටා ඇන්ඩර්සන්ගේ පෙර විවාහයේ දරුවන් දෙදෙනෙකුට පසුව ලැබුණු දරුවන් තිදෙනෙකුට පීතෘ සෙනෙහස ලබාදුන් හෙතෙම, තවත් දරුවන් හය දෙනෙකුගේ පියා බවට පත්ව වුන්නේය. දෙයක් ඇතිවීමට මෙන්ම නැතිවීමට ද හේතුවක් උදාවෙයි.

එක්තරා මත්ද්‍රව්‍යයක් විසින් බොබ් මාලේ ගේ ජීවිතය අරක්ගනු ලැබ තිබිණ. සංගීතය සහ කංසා එක්ව ගමන් කරන්නට ගත්තේය. එහෙත් කංසා විසින් සංගීතය විනාශ කරනු ලැබීය.

1977 දී යුරෝපයේ සංචාරයක යෙදෙන අතර තුර පාපන්දු ක්‍රීඩාවේ යෙදීමට ගොස් බොබ් මාලේ තම පාදය තුවාල කැර ගත්තේය. එතැන් සිට ක්‍රමයෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට පටන් ගත්තේය. මෙලනෝමා නම් චර්ම රෝගය ඔහුගේ පෙණහලුවල සිට මොළය දක්වා පැතිර ගොස් තිබිණ. අවසානයේදී බොබ් මාලේ මෙලොව හැර ගියේ තම කුඩා පුත්‍රයාට වචන හතරක වාක්‍යයක් කියමිනි..”Money can’t buy Life”


ඒ ගැන තවත් අමුතුවෙන් යමක් ලිවීම අනවශ්‍යය. බොබ් මාලේ ගේ මරණින් වසර තුනකට පසුව ඔහුගේ සංගීත ඇල්බමයක් නිකුත් කෙරිණ.

එහි පිටපත් මිලියන 20කට අධික ප්‍රමාණයක් ලොව වටා අලෙවි වීමට ගතවූයේ ඉතා කෙටි කාලයකි. අද පවා බොබ් මාලේ ගේ ගීත තැටි ලොව සෑම රටකම පාහේ අලෙවි කෙරේ. ඔහුගේ හඬ, පද රචනා, රෙගී සංගීතය, සහ ඔහුටම ආවේණික කොණ්ඩය සහ බාහිර පෙනුම කිසිදු කෙනෙකුට අමතක කළ නොහැකිය.

ප්‍රේම විලාප ගායනා නොකළ මුත් ඔහු ප්‍රේමය ලොව පුරා පැතුරුවේය. හැබැයි එය කැරලිකාර ප්‍රේමයකි. ඒ ඔහු ගේ ආගමයි. ශාන්තුවරයකු නොවූවත් හෙතෙම නිහඬ ආධ්‍යාත්මික පණිවුඩයක් රැගෙන ආවේය. අපට එය හැෙඟන්නේ ”One Love – One Heart” යනුවෙනි. තවත් කෙනෙකුට එය වෙනස්ම ලෙසකට හැගෙන්නට ද පුළුවන. බොබ් මාලේ - ඒ තමා ඔහු ගේ නිර්මාණවල හැටි.

කේ.සී.ජේ. රත්නායක

Source : Silumina 2011/02/27
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Sat Feb 26, 2011 3:49 am    Post subject:

බොබ් මාලේ ‘රෙගී’ ශෛලිය හැදුවේ ශ්ලෝක මන්තර ඇසුරින්

ජනජීව වේහැල්ල

මාධ්‍යවේදියකු ලෙස වෘත්තීය ජීවිතය ඇරැඹූ ජනජීව වේහැල්ල අද වඩාත් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසින්.

වීඩියෝ ශිල්පියකු, සහාය අධ්‍යක්ෂවරයකු හා වාර්තාමය වැඩසටහන් නිර්මාණකරුවකු සේ අද ඔහුගෙ වපසරිය තවත් පුළුල් වෙලා.

’සත්සර විප්ලවවාදියා බොබ් මාලේ..’ ඔහු විසින් විරචිත මංගල කෘතිය. බොබ් මාලේ ඔහුගෙ ප්‍රියතම චරිතය වන්නෙ කිසිවකුත් එතරම් නොතකන නොදකින සුවිශේෂී හේතු ගණනාවක් හින්දා. ඒ සියලු හේතු ජනජීවට දැනෙන්නෙ ’Catch a fire’ කෘතිය කියැවීමත් සමඟ.

ඔහුට දැනුණු දේ ඔහු සිංහලයට නැඟුවා. ‘සත්සර විප්ලවවාදියා’ රචනා වෙන්නෙ එතැන් පටන්.

”බොබ් මාලේ මං අති දැවැන්ත චරිතයක් වෙන්නෙ හේතු ගණනාවක් හින්දා. ඔහු තමන්ගෙ මිනිසුන්ගේ ප්‍රශ්න ටික ලෝකයට කිව්වෙ ගීතයෙන්. ඔහු පේ‍්‍රම ගීත ගයා තිබෙන්නෙ එකක් නැතිනම් දෙකයි.

අනෙක් හැම ගීතයකම තියෙන්නෙ තමන්ගෙ රටේ මිනිස්නුගෙ ප්‍රශ්න. ජීවන ගැටලු. ජැමෙයිකාවේ ඈත ගමක මුඩුක්කුවක උපන් බොබ් මාලේ අපූරු මානව හිතවාදියෙක්. ඒත් සමහරු ඔහු දකින්නෙ ෆැෂන් එකක් විදියට. තවත් සමහරුන්ට ඔහු ගංජාකාරයෙක්. ඔහුගෙ කොණ්ඩය ඇඳුම පැළඳුම – විතරක් නෙවෙයි ‘රෙගේ’(Regge) ගීත ශෛලියත් සමහරුන්ට ෆැෂන් එකක්.”

”නමුත් ’Catch a fire’ කියැවුවට පස්සෙයි මට දැනුණෙ බොබ් මාලෙගෙ ජීවන දර්ශනය මොන තරම් ශ්‍රේෂ්ඨ උසස් එකක් ද කියල. කිසිම දේශපාලන න්‍යායකට අනුකූල නැති වුණත් ඔහු කිව්වෙ - කළේ අතිශය දේශපාලනික දේ.

මෙලඩියක් නැති ඔහුගෙ ගීත ශෛලිය මිනිසුන් කොයිතරම් වැලඳගත්ත ද කිව්වොත් කලෙක ලොව රෙගී උන්මාදයක් පවා බිහිවුණා. ‘ගායකයෙක් කියනවට වඩා මං කැමති මං‘Speecher’ කෙනෙක් කියනවට... මොකද මං ගයන්නෙ කතා විලාසයක්...’ ඒ ඔහුගෙ ශෛලිය.”

‘Welcome! this is the land of Regge’ ඔවුන් සිය රටට විදේශිකයන් පිළිගත්තෙ එහෙම. ඒ කාලෙ ලොව ඉහළම ගීත දර්ශනවල අතිශය ජනප්‍රිය වූ රෙගී ගීත නිසා ජාත්‍යන්තර සම්මාන උළෙලවලදී ‘රෙගී’ කියල කැටගරි එකක් හඳුන්වා දෙන්න වුණා.

ජැමෙයිකාවේ ඈත ගම්බද ජන සංගීතය ආශ්‍රිතව ගොඩනැඟුණු ශ්ලෝක – මන්තර ඇසුරින් බොබ් මාලෙ රෙගී ශෛලිය හැදුවෙ ඒ ශ්ලෝක – මන්තර ස්වර මොඩිෆයි කරල. මානව හිතවාදී ගුණය - මේ මහපොළොව හා ඇති බැඳීම ඔහුගෙ ගීතවලට නිබඳ තේමා සැපයුවා. ඔහුට තිබුණෙ නැහැ තරු සංකල්පයක්. බැරෑරුම් ලෙස සිය වර්ගයාගේ ජීවන ගැටලු විග්‍රහ කරන මාලෙ ඉතා නිර්භය චරිතයක්.”

ඔහුගෙ පියා ඇමෙරිකානු කපිතාන්වරයෙක්. අම්මා ජැමෙයිකාවෙ දුප්පත් ගැහැනියක්. කළුත් නොවන - සුදුත් නොවන ඔහුගෙ හම නිසා ඔහු බොහෝ පීඩාවට පත්වුණා. ඔහු වැනිම පීඩාවට පත්වූ එවැනි දුඹුරු පරම්පරාවේ (Brown Generation) මිනිස්සු ජැමෙයිකාවේ තව හුඟක් හිටියා.



’රොබට් නෙස්ටා මාලෙ’ බොබ් මාලෙ වූ හැටිවත් ඔහු ඉපදුණු - ජීවත්වුණු - මැරුණු හැටිවත් විතරක් කියන සාමාන්‍ය පොතක් ලියන්න නෙවෙයි මට ඕන වුණේ. ජැමෙයිකාවේ මිනිසුන් වහලුන් ලෙස ගෙවූ ජීවිතයෙ ඉඳලයි මං බොබ් මාලෙ ඉපදුණු තැනට එන්නෙ. දේශපාලනික – ආර්ථික හා සාමාජීය වශයෙන් ධාරා තුනක් ඔස්සේ මාලෙගෙ ජීවිතය මං පෙළ ගස්වල තියෙනවා.

පොත් කියවන්න අකැමැති කෙනෙක් වුණත් ඔහු බොබ් මාලෙගෙ රසිකයෙක් නම් නොවැරදීම මේ පොත අරගත්තා. මං හිතුවට වැඩිය හොඳ ඉල්ලුමක් පොතට තියෙන්නෙ. ඒත් ආයෙ හිතෙනවා මීට වඩා තව අහුමුළු තැන් එකතු කරන්න මට තිබුණා නේද කියල. මොකද බොබ් මාලෙ කියන්නෙ ඒ තරමටම විවිධ වූ පැති ඇති පුද්ගලයෙක් නිසා...”


ඉනෝකා පෙරේරා බණ්ඩාර

Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Sat Feb 26, 2011 3:50 am    Post subject:

මාලේ බොබ් මාලේ’ සිංහල ගීතය ගයන
ශේන් සිzo


දෙස් විදෙස් සිංහල ගීතලෝලීන් අතර ජනපි‍්‍රය වෙමින් පවතින “මාලේ බොබ් මාලේ” සිංහල ගීතය ගයන්නේ සංගීත ප්‍රසංග වේදිකාවේ දශක එකහමාරක පමණ අත්දැකීම් ඇති ගායන ශිල්පී ශේන් සිzo කරුණාරත්නගේ සෞන්දර්ය චාරිකාව සම්බන්ධයෙන් ඔහු සමඟ කළ කෙටි පිළිසඳරකි මේ...!

”ශේන් සිzo මෙවැනි ගීතයක් ගායනා කළේ ඇයි?”

පුංචි කාලයේ ඉඳලම මම රෙගේ සංගීතයට ආසා කළා. ඒ වගේම බොබ් මාලේ ගායන ශිල්පියාටත් මං බෙහෙවින් පි‍්‍රය කළා. ඒ හින්දා රොෂාන් ප්‍රනාන්දු මේ ගීතය නිර්මාණය කරලා මට ගායනා කරන්න දුන්නාම මම හරිම ආසාවෙන් ගායනය කළේ.

අපේ රටේ පමණක් නොව විදේශ රටවල ඉන්න රෙගේ සංගීතය පි‍්‍රය කරන සිංහල ගීත රසිකයින් වෙනුවෙන් මේ ගීතය ගයන්න ලැබීම ගැන මං සතුටු වෙනවා.

ගම්පහ සහ බම්බලපිටියේ ශාන්ත පීතර විදුහල්වලින් ශිල්ප හදාරා 1997 දී සංගීත කණ්ඩායම් සමඟ ගීත ගායනයට එක් වී ඇති ශේන් සිzo සමන් ඇන්ඩ් ද ක්ලෑන්, මහින්ද ප්‍රමුඛ සුපර් ස්ටාර්ස්, සනිධප ඇතුළු දේශීය සංගීත කණ්ඩායම් කිහිපයකද මාලදිවයිනේ සහ ඩුබායි රටවලදී විදේශීය සංගීත කණ්ඩායම් දෙකකද ප්‍රධාන ගායන ශිල්පියා ලෙස කටයුතු කර ඇත.

මේ වන විට සිය “චෙක් පොයින්ට්” සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා ලෙස ගීත ගායනයේ යෙදෙන ඔහු සංගීත ක්ෂේත්‍රය සම්බන්ධ ව්‍යාපාරයක ජීවන වෘත්තීය ලෙස නියුතුව සිටියි.

”අපේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳ ඔබ හිතන්නේ කොහොමද?”

ශ්‍රී ලංකාවෙන් දැන් සංගීත කලාවට පිළිගැනීමක් තිබෙනවා. කර්මාන්තයක් වශයෙන් දුප්පත් අපේ රට සංගීතයෙන් ඇමරිකාවට වඩා ඉදිරියට එමින් සිටිනවා. තවමත් අපේ රට ඉදිරියට නොපැමිණියේ අපේ සංගීත ක්ෂේත්‍රයේ සමහර අදක්ෂයෝ ඇතුළේ සහ දක්ෂයෝ එළියේ සිටින හින්දයි.

විවිධ ක්‍රම වලින් එවැනි අදක්ෂයින් කිහිප දෙනෙකු මෙම ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය වී උන්නත් දක්ෂයෝ කවදා හෝ ඔය අදක්ෂයින් කපා ගෙන මතු වෙනවා. ඉවසීම් සමඟ කැපවීම ඕනේ ඒ සඳහා.

”ඔබේ සංගීත චාරිකාව ගැන පවසනවා නම්....?”

මගේ මේ සංගීත චාරිකාව ආරම්භ කරලා නම් දැන් අවුරුදු පහළොවක් පමණ වෙනවා. විදේශීය රටවල් දහයක පමණ සංගීත ප්‍රසංගවල ගීත ගායනා කරලා හොඳ රසික ප්‍රතිචාර ලබා ගෙන තිබෙනවා. ඒ අතරින් බහුතර ගීත රසික පිරිසකගේ ප්‍රතිචාර ලැබුණේ දකුණු කොරියාවේදී. අවුරුදු දහයක පමණ සිට ම ගීත ඇල්බමයකට සූදානම් වෙනවා.

මේ වන විට ගීත විසි පහක් නිර්මාණය කර තියෙනවා. මගේ ගීත රසිකයින්ට හොඳම ගීත ඇල්බමයක් ලබා දෙන්නයි මගේ මේ වෑයම. මේ ගීත විසි පහ අතරින් හොඳම ගී දොළහක් තෝරා ගෙන 2012 අප්‍රේල් 20 වැනිදා මගේ එම ගීත ඇල්බමය නිකුත් කරනවා. එමෙන්ම ළඟදීම අයෝධ්‍ය ප්‍රනාන්දු පද රචනය කළ, චන්දන වල්පොළ සංගීතවත් කළ “සංවේදනා’ ගීතයේ මියුසික් වීඩියෝව නිකුත් කරනවා.


ඈත ජැමෙයිකා දේශයේ ඔබ ඉපදුණා
ඉන්න ඕන කාලයේ ඔබ මියැදුණා
අදත් හිටියා නම් ඔබ වටිනවා
ඔබ ගෙන ආ දේ අපි රකිනවා

මාලේ බොබ් මාලේ - ඔබයි රෙගේ රජු
මාලේ බොබ් මාලේ - ඔබයි රෙගේ රජු

දුගී ජනයා අතරේ ඔබ රජෙකු වූවා
ගැයුව ගීතේ රැඟුව තාලේ
හද සසල කරවා

මාලේ බොබ් මාලේ - ඔබයි රෙගේ රජු
මාලේ බොබ් මාලේ - ඔබයි රෙගේ රජු


ඔබට මේ උපහාරේ හදවතින් පිදුවා
රෙගේ තාලෙ ඔබ ගෙන ආවේ
ලොව මවිත කරවා

මාලේ බොබ් මාලේ - ඔබයි රෙගේ රජු
මාලේ බොබ් මාලේ - ඔබයි රෙගේ රජු



පද රචනය සහ සංගීතය - රොෂාන් ප්‍රනාන්දු
ගායනය - ශේන් සිzo කරුණාරත්න

ජෝජ් රොබ්සන් ද සිල්වා

Source : Silumina 2011/02/27
Back to top
View user's profile Send private message
uchitha
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: Nov 17, 2010
Posts: 3301
Location: italy

PostPosted: Sat Feb 26, 2011 4:21 am    Post subject: Re:

sangeethayata adare aya venuven .......................
thanks chajee
_________________
Back to top
View user's profile Send private message
pesta
Founder
Founder


Joined: Nov 11, 2007
Posts: 19987
Location: USA

PostPosted: Sat Feb 26, 2011 4:32 am    Post subject: Re:

Bob M unique musician I really like! Thanks Chajee!
Back to top
View user's profile Send private message Yahoo Messenger
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Fri Mar 04, 2011 6:00 am    Post subject: Milton Mallawarachchi

ඔබ මුව පියුමේ තොල්පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ




ඔහුගේ ඒ හැඟුම්බර හඬ විරහ වේදනා විඳින හැම හදවතකටම දිව්‍යමය ඔසුවක්‌ බඳුවිය. ශ්‍යංගාර රස මිහිරි විඳින හදවත්වලට රසමදිරාවක්‌ම විය. ඒ ලයාන්විත හඬ, විරහ වේදනාවෙන් හඬා වැටෙන හදවත් තුළ පොපියන ශෝකාලාපවල අනුරාවයයි.

පුරා දශක තුනකටත් අධික කාලයක්‌ ශ්‍රී ලාංකික ගීත ක්‍ෂේත්‍රයේ විරහ ගීතයේ කිරුළ හිමිකර ගෙන මෙයින් වසර දහතුනකට පෙර ඔබ අප අතරින් සමුගත් ප්‍රවීන ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි පිළිබඳ සටහනක්‌ ඔහුගේ දහතුන්වන අනුස්‌මරණ දිනය වෙනුවෙන් මෙසේ පෙළගස්‌වමු.

මීට දශක හයකට විතර කලින් නුගේගොඩ පාගොඩ දේවාලපාර ගෙදරකින් පුංචි දරුවෙකුගේ හඬක්‌ අමුතු විදිහකට ඇසුණි. "කලලං ජිං ජිං කලලං ජිං ජිං"

කුස්‌සියෙ තිබුණු හිරමනය ගිටාරය විදියට හසුරුවමින් මේ අයුරින් කටහඬ අවදි කරපු මේ දරුපැටියා ශ්‍රී ලංකාවේ ලක්‍ෂ සංඛ්‍යාත රසික ජනයා දශක ගණනාවක්‌ පුරා මිහිරෙන් මිහිරට පත්කරන්න පුළුවන් ගායකයෙකු වෙයි කියල කාටනම් හිතෙන්න ඇත්ද?

පුංචි මිල්ටන් පාසල් ගියේ කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයට. පාසලේදීත් විවේක ලැබෙන හැම මොහොතකදීම ඔහුගේ මුවින් හින්දි ගී පද වැල් පිටවිය. පන්ති කාමරයේ සිංදු කියන මේ කොලුපැටියට තරවටු කරන්න ගුරුවර ගුරුවරියනුත් මැළිවිය. මුලින් මුලින් පුංචි තරවටු කළත් පසුව ඔව්හු තරවටු කරනවා වෙනුවට දෑස්‌ පියා ඔහුගේ මිහිරි හඬට දෙසවන් යොමාගෙන සිටියහ.

මිල්ටන් යෞවනයට පිවිසුනේ ඔහු මුණ ගැසෙන හැම කෙනෙකුගේම ආදරයට පාත්‍ර වෙමින්. ඔහුගේ මුවින් පිටවන වචන ගීතාත්මක බවින් පිරි තිබුණා.

දවසක්‌ මඟුල් ගෙදරක ලව්ඩ්ස්‌පීකරෙන් ඔහුගේ හඬින් ගීතයක්‌ ඇසුණි. ලස්‌සනට සිංදු කියන මේ තරුණයාව බලන්න අහල පහල ගම්වලිනුත් පිරිස්‌ පැමිණුනි.

මෙසේ ගී ගායනා කළ ඔහුට ගුවන් විදුලි සරළගී වැඩසටහනකට ගීත ගැයීමට ආරාධනාවක්‌ ලැබුණි. එදා ඔහු ගුවන් විදුලියට ගැයූ මුල්ම ගී හතර ඈත ගම් දනව් පුරා ගුවන් විදුලියට සවන් යොමා සිටි අය අතර අතිශය ජනප්‍රිය විය. 1969 දී ගුවන් විදුලියෙන් විකාශය වූ මිල්ටන් මල්ලවාරච්චි ගැයූ පළමු ගීත හතර වූයේ "ඔරුවක පාවෙන" "මංගලේ නෙත් මංගලේ" "රන් කූඩුව ඔබ" "සංසාරෙ සෙවනැල්ල" ගීත හතරයි.

මිල්ටන්ගෙ ගීත ගුවන් විදුලියෙන් ජනප්‍රිය වෙද්දී ඔහුට තව තවත් ගීත ගායනා කිරීමට අවස්‌ථාවන් උදාවිය. රටේ ප්‍ර්‍රභූ නිවෙස්‌වල උත්සව වලටත් පැදුරු සා-ජවලටත් නිතර අරාධනා ලැබිණි.

එවකට නවලෝක ව්‍යාපාරයේ අධිපතිතුමන් වූ උපාලි ධර්මදාස මහතාගේ නිවසෙත් නිතර නිතර සංගීත වැඩසටහන් පැදුරු සාජ්ජ පැවතුණි. මේ පැදුරු සා-ජවලට සිංදු කියන්න මිල්ටන්ටත් ආරාධනා ලැබුණු අතර ඉතා හැඟුම්බරව සිංදු කියන මේ තරුණයගෙ කටහඬට ධර්මදාස පවුලේ හැමෝගෙම අවධානය යොමු විය. ඔහුගේ කටහ‍ඩේ ඇති ආකර්ශනීය බව නිසාම මිල්ටන්ට නවලෝක ව්‍යාපාරයෙහි රැකියාවක්‌ ද හිමිවිය. ටික කලකට පසු ඔහු එහි සේවය කළේය. එදා සිට මිය යනතුරුත් මිල්ටන් තුළ ධර්මදාස පවුලේ හැමටම තිබුණේ ඉතා ගෞරවයකි.

හැත්තෑව දශකයේ නිකුත්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම කැසට්‌ පටය මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත සමුච්චයකින් පිටවිණි. ඒ තරංගා ලේබලය යටතේ නිකුත් වූ "සඳෙන් එහා" කැසට්‌ පටයයි. එය ශ්‍රී ලාංකික සංගීත ලෝලී රසවතුන්ට අලුත් අත්දැකීමක්‌ විය. ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවි වාර්තා පිහිට වූ එකම කැසට්‌ පටය වූයේද මිල්ටන් මල්ලවාරච්චිගේ "පියාපත් සලා" කැසට්‌ පටයයි. මිල්ටන් ගැයූ හැම ගීතයක්‌ම අතිශය ජනප්‍රිය වීමට ඔහුගේ ඒ හැඟුම්බර හඬ මෙන්ම ඔහුටම ආවේනික වූ තනු නිර්මාණ මෙන්ම ගී පදමාලාද ඉවහල් විය. මියුරු සංගීතයත් තනු නිර්මාණත් ගී පදමාලාවලින් ඔබ්බට යන ප්‍රේමණීය හැඟුම්බර හඬ රසික හදවත් තුළ තැන්පත් විය.

මිල්ටන් ගැයූ ගීත එක්‌දහස්‌ පන්සීයකට අධික ප්‍රමාණයකි. මෙහි සුවිශේෂ බව වන්නේ ඒ හැම ගීතයක්‌ම ස්‌වතන්ත්‍ර නිර්මාණ වීමත් ඒ ගැයූ හැම ගීතයක්‌ම අතිශය ජනප්‍රිය වීමත් යන කාරනා දෙක නිසාය. ඔහුටම ආවේනික වූ ගායන ශෛලියකින් ගීත ගායනා කළ මිල්ටන් සහෝදර ශිල්පීන්ගේ ගෞරවයට ද පාත්‍ර වූවෙකි. මිල්ටන් ආඩම්බර ගායකයකු යෑයි කෙනෙකුට සිතුනද නිහතමානී මානව හිතවාදී සමාධි අහිංසක ගතිගුණවලින් පිරිපුන් මිනිසකු බව ඔහු ළඟින් ඇසුරු කරන්නෙකුට මැනවින් පැහැදිළිවන කරුණකි.

ඔහු ජීවත්වූ කාලය පුරාවට පක්‍ෂ පාට දේශපාලනයෙහි නියලුනේ නැත. ඔහුගේ හඬ කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ ආවැඩීමට යොදාගත්තේ ද නැත. ස්‌වාධීන වාමවාදී අදහස්‌ ඔහු තුළ පැවතිය ද කිසිවිටෙකත් දේශපාලන හස්‌තයන්ට කොටු නොවුනේය.

මිල්ටන්ට ස්‌වර්ණා හමුවීමෙන් ජීවිතයට අලුත් කාලයක්‌ උදාවිය. මිල්ටන්ගේ හා ස්‌වර්ණාගේ විවාහය සිදුවීමට මාස කිහිපයකට පෙර මිල්ටන්ගේ මව මිය ගියාය. ඇයගේ වියෝව තරම් ඔහුගේ හිතට දැනුණු වේදනාවත් තවත් නැති තරම්ය. ඒ මිල්ටන් තම මවට පණමෙන් ආදරය කළ බැවිණි. මිල්ටන් මිය යන තුරුත් ගෙයින් පිටවන හැම මොහොතකම, තම මවගේ ආශීර්වාදය ලැබීමටත් අමතක නොකළේය. මිල්ටන් ස්‌වර්ණා විවාහයෙන් ඔවුන්ට පුතුන් දෙදෙනකු සහ දියණියන් දෙදෙනකු හිමිවුණි. රනිල්, හර්ෂනී, නදීජා, තාරක දූ පුතුන් මෙන්ම තම බිරිඳ සමග මිල්ටන් ජීවිතය ගත කළේ ඉතා සුන්දරව, ගෞරවනීය අයුරිනි. ඔහු තම බිරිඳ හා දරුවන් වෙනුවෙන් සියලු යුතුකම් නොපිරි හෙළා ඉටු කළේය. බිරිඳකට උතුම් සැමියකු මෙන්ම දරුවනට සෙනෙහෙබර පිsයෙකු ලෙස මිල්ටන් ජීවිතය පසක්‌ කරගෙන සිටියේය.

ඔහු තම බිරිඳ වෙනුවෙන් ගැයූ "ඈත එපිට දුර ආකාසේ" ගීතයත් තම දරුවන් වෙනුවෙන් ගැයූ "රනිල් පුතේ හිනැහෙන්" "දුවේ හර්ෂනී" "දූ නදී හිනැහෙනවා" "තාරක පුතේ" යන ගීත ජනප්‍රියත්වයට පත් තවත් ගීත අතර වේ.

මිල්ටන් ගැයූ ගී ඇතුළත් කැසට්‌ පට අතුරින් "පියාපත් සලා" "මා නෙත් කැදැල්ලේ" "දෑස රිදෙනවා" "ගෙවල් අද්දර" "ගංගා යමුනා" "සයුරු තෙරේදී" "ඔබවෙනුවෙන්" "සිහින මැවේ" "වීණා" වැනි කැසට්‌ පට ඉතා ජනප්‍රිය විය.

මොහොමඩ්සාලි, සෝමපාල රත්නායක, සරත් ද අල්විස්‌, සරත් දසනායක, රෝහණ වීරසිංහ, වික්‌ටර් රත්නායක, ස්‌ටැන්ලි පීරිස්‌, මිල්රෝයි ධර්මරත්න, අර්නස්‌ට්‌ සොයිසා, උපාලි කන්නන්ගර, මහින්ද බණ්‌ඩාර, රූකාන්ත ගුණතිලක, කීර්ති පැස්‌කුවෙල් ඇතුළු තවත් ප්‍රවීන සංගීත අධ්‍යක්‍ෂවරුන් ගණනාවකගේ මියුරු සංගීත තනු නිර්මාණ වලින්ද කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්‌, කේ. ඩී. කේ. ධර්මවර්ධන, උපාලි ධනවල විතාන, කුලරත්න ආරියවංශ, ලූෂන් බුලත්සිංහල, කැලැරන්ස්‌ විෙ-වර්ධන, මෙන්ම මේ දැවැන්ත ගීථ රචකයන් අතරට එවකට මිල්ටන් මල්ලවාරච්චිට ගී ලියූ ලාබාලම ගීත රචකයා වෙන්නට මේ ලිපිය ලියන මටද වාසනාව හිමිවුණි.

යුග යුග ගණනාවක්‌ ප්‍රේමණීය හදවත් අතර මිල්ටන් ගී හඬ සදාතනිකවම දෝංකාර දෙයි. මියුරු පද බැඳුම් නිම්නාද අතරින් ඔහුගේ රසබර ලබැඳි හඬ තවමත් අපට ඇසේ. සංගීතයට මෙන්ම ක්‍රිකට්‌ ක්‍රීඩාවටද ඔහු මහත්සේ ඇලුම් කළේය. ගමනේ ගිම් නිවූ එදා "පායා ආ සඳ" "උපුල් නුවන් විදහා" "මගතොටදී හමුවෙද්දී" "දෑසේ කැළුම් කැන්" "සුළගේ පාවී" "සීත අරණේ" "කැන්දන් යන්නම් "ඔබේ නිල් නුවන්" "පෙර එක දවසක " "නිදිබර සිතුවිලි" "මධු මල ලෙස මෘදු" "සිහිනෙන් ඔබ මට" "සැන්දෑයාමේ" "ඉවුරු තලා" "මා දයාබර ප්‍රියා වියේ" "දවසක්‌ තියේවි" "මගේ අතීත දිවියේ" "ඔබ වෙනුවෙන් ලියූ දහසක්‌ " "සඳළුතලේ" "එදා රෑ" "ගෙවල් අද්දර" "දිනෙක රන්සළු" "ලොව සැතපෙන යාමේ" වැනි සිය ගණනාවක්‌ ගීත තවමත් ශ්‍රී ලාංකීය ජනතාව සුවපත් කරයි.

ඔහුගේ රස මධු මදිරා ගී මල් වැහි තවමත් අපෙ හදවත්වලට වසී, ශ්‍රී ලාංකීය විරහ ගීතයේ අභිෂේක ලත් ඒ සිහින කුමරාගේ මිහිරි ගී හඬ විශ්වයේ ඈත සුරකට ඇදී ගොස්‌ දහතුන් වසරක්‌ සපිරුණද මිල්ටන් මල්ලවාරච්චි ගී හඬ තවත් සියක්‌ දහසක්‌ වසක්‌ කල් යෞවන හදවත් තුළ සදාතනිකවම ලැගුම් ගනු ඇත.

මරු කතරේ මිනිස්‌ පුරේ
කොතැනක වේවා
මෙතේ බුදුන් පාමුල ඔබ
නෙළුමක්‌ වේවා.....

ධම්මික සල්වතුර

Source : Divaina 2011/03/04
Back to top
View user's profile Send private message
mlalith
Executive Member
Executive Member


Joined: Nov 18, 2007
Posts: 3454

PostPosted: Fri Mar 04, 2011 6:26 am    Post subject: Re: Milton Mallawarachchi

hanks macho me lipi pelate godak deval dene gath tha.
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Sat Mar 05, 2011 7:08 am    Post subject:

10 වැනිදාට යෙදෙන මිල්ටන් මල්ලවආරච්චි අනුස්මරණය නිමිත්තෙනි
නොදැක ඔබේ රුව ශෝකය නැඟෙයි හද පුරා....


මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි...


(පද – කරුණාරත්න අබේසේකර)
පෙම් සටන් පරාද වී විරහ වේදනාවෙන් ඔත්පල වූ ගීත ශ්‍රාවක ආත්ම සුවපත් කරමින් ඔහුගේ හෘදයාංගම කටහඬින් ගීතවත් වූ සොඳුරු ආදර ගීතාවලිය සිංහල සංගීත ක්ෂේත්‍රයේ මියුරුතම ගීතාවලියකි.

සිය වැලපුණු ආත්මයෙන් යොවුන් පෙම්වතියන්ගේ මෙන්ම පෙම්වතුන්ගේ ද සිත් අමන්දානන්දයට පත් කළ ඔහු අප අතරින් සදහටම සමුගෙන ගොස් මේ වන විට වසර දහ තුනකට කාලය ඉගිලෙමින් ඇති අතර මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නේ ඔහු පිළිබඳ මතක සුවඳින් ය. එනම් ප්‍රේමයේ පැහැයෙන් ගීතය වර්ණවත් කළ ආදරණීය මිල්ටන් මල්ලවආරච්චි ගායන ශිල්පියාණන් පිළිබඳ සැමරුම් සමඟින් ය.

ආදරයේ සෑම ඉසව්වක්ම සිය මධුර හඩින් ස්පර්ශ කරමින් සරල, සුගම, සොඳුරු ගීතාවලියක් ශ්‍රාවක අපට තිළිණ කළ මිල්ටන් මෙලොවට ජනිත වූවේ 1944 අප්‍රේල් හත්වැනිදා කෝට්ටේ ග්‍රාමයේදී ය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් ශිල්ප උගත් ඔහු 1973 දෙසැම්බර විසි නව වැනිදා ස්වර්ණමාලි මාලතී සමඟ විවාහ වූ අතර රනිල්, හර්ෂණී, නදීරා සහ රන්සිරි නම් දරුවන් සිව්දෙනාගේ පියා වූවේය.

මිල්ටන් ගේ පෞද්ගලික ජීවිතයේ වගතුග සඳහන් කරන බොහෝ අවස්ථාවන්හිදී ඔහු ඕනෑකමින් මඟ හරින නැත්නම් ඕනෑකමින් කපා හරින කරුණක් මෙහිලා මම අකුරු කරමි. ඒ ඔහුගේ පියා පිළිබඳ වගතුග ය. මිල්ටන් ගේ ආත්මය වසා පැතිර ගත් දුකඳුරේ ඇරඹුම ඔහුගේ පියා විය. අප හමු වූ දිනෙක මිල්ටන් ඒ වග හෙළිදරව් කළ අයුරු මගේ මතකයේ තවමත් නින්නාද වෙයි.

”එයා ගැන ලියන්න එපා. මම හීනෙකින් වත් දැකලා නැති, මම දන්නෙම නැති කෙනෙක් තමයි මගේ තාත්තා. එහෙම කෙනෙක් ගැන මොනවට ද නිකම් නමට විතරක් ලියන්නේ. මට උන්නේ මගේ අම්මා විතරයි. මාව ජීවත් කරවන්න අම්මා නොවින්ද දුකක් නැහැ. මමත් අම්මත් එක්ක දුක් වින්දා. පුංචි කාලේ ඉඳි ආප්ප හදන්න අම්මට පිටි කොටලා දෙනවා. ගෙවල් හදන තැන්වල කුලී වැඩ කරලා තියෙනවා. දුක මේ ජීවිතයේම කොටසක් වුණේ ඒ කාලේදීම යි.”

සිය ආත්ම ගතවූ දුක් වේදනාවෙහිම ගිලී ශෝකාකූල හඩින් ගී සංකල්පනාවන්ට ජීවය දුන් මිල්ටන් මුලින්ම කේවල ගී තැටියකට ගීත ගායනය කළේ 1969 දීය.

එවකට භද්‍ර යෞවනයට පිවිස සිටි, බහුතර ගීත ශ්‍රාවක පිරිසකගේ ප්‍රියතම ගායන ශිල්පියා වෙමින් කරුණාරත්න අබේසේකර පද රචනය කළ මොහොමඩ් සාලි සංගීතවේදියාණන් සංගීතවත් කළ “ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ”, “රන් කූඩුව ඔබ සෑදූ”, “මංගලේ නෙත් මංගලේ” සහ “සංසාර සෙවනැල්ල ලෙස ආ පතාලා” ගීත හතර මුලින්ම ගායනා කළ මිල්ටන් එතැන් සිට 1998 මාර්තු දහවැනිදා මරණයේ තොටුපළෙන් නික්ම යනතුරුම ගැයූ සෑම ගීතයක්ම ඔහුගේ ගීතලෝලී සහෘදයන්ගේ සිත් පිනවූ ගී මුතුවැල් දාමයක්ම විය.

1971 වසරේ තිරගත වූ “පූජිතයෝ” චිත්‍රපටයේ එම්.එස්.ප්‍රනාන්දු සමඟ “සක්වළ රත්වන පළිඟු තලාවක” ගීතය ගයමින් චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූ මිල්ටන් සිංහල චිත්‍රපට සියයකට ආසන්න ගණනක මියුරු ගී රැසක් ගායනා කළ අතර 1984 වසරේදී හොඳම ගායනයට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. ඒ, 1983 දී ප්‍රදර්ශනය වූ “ඈතින් ඈතට” චිත්‍රපටයේ ගැයූ “කැන්දම් යන්නම් රන්මල් මාලා දාලා” ගීතය ගායනය සඳහා ය.

මිල්ටන් ගායන ශිල්පියකු ලෙස සංගීත ක්ෂේත්‍රයේ කඩඉම් සනිටුහන් කළ ශිල්පියෙක් ද වේ. ආධුනික ගායන ශිල්පියෙකුව සිටිය දී හින්දි ගීත ගායනා කළ නමුත් කිසිදාක අනුකරණ ගී තනු අනුව සිංහල ගීත ගායනා කළේ නැත.

ඔහු ගායනා කළ සෑම ගීතයක්ම ස්වතන්ත්‍ර තනුවලට ගායනා කළ අතර මෙරටේ ස්වතන්ත්‍ර හින්දි ගීතයක් (“සිරිල් මල්ලී” චිත්‍රපටයේ “ඒක ඛලී” ගීතය) ගැයූ මුල්ම ගායන ශිල්පියා වන්නේ ද මිල්ටන් ය. ග්‍රැමෆෝන් යුගයේ අවසන් ගී තැටිය (ගෞරි කෝපරේෂන්) මිල්ටන් ගේ හඬින් ගීතවත් වීම මෙන්ම මෙරට ප්‍රථම ගීත කැසට් පටය ද (විජය රාමනායක නිෂ්පාදනය කළ “සඳෙන් එහා” මිල්ටන්ගේ හඩින් ගීතවත් වීම එවැනි තවත් සුවිශේෂ කඩඉම්ය.

ගුවන්විදුලියේ “ඒ” ශ්‍රේණියේ ගායන ශිල්පියකු වූ මිල්ටන් ටෙලි නාට්‍ය සඳහා ගැයුවේ එකම ගීතයක් පමණි. ලක්ෂ්මන් මල්ලවආරච්චි පද රචනය කළ, ස්ටැන්ලි ලියනගේ සංගීතවත් කළ “සැඩ සුළඟේ පාවී මල් පෙත්තක් වගේ” නම් වූ එම ගීතය “හිම කැදැල්ල” රූපවාහිනී නාට්‍යයේ ඇතුළත් විය.

“මල් කැකුළු” සහ “යළි හමුවන්නයි” චිත්‍රපටවල ගීත දර්ශනවල පෙනී සිටි මිල්ටන් ප්‍රසංග වේදිකාවේදී මෙන්ම සංයමයෙන් එම දර්ශන නිරූපණය කළේ ය. ඔහුගේ අදහස වූවේ “ගායකයා කියන්නේ නළුවෙකුට නොවේ ය” යන වගය.

ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනෙක
අපි හමුවන්නයි...


(පද – බණ්ඩාර කේ.විජේතුංග)
සිය සහජ ගායන කුසලතාව ප්‍රතිභාවයෙන් භාවිතා කළ මිල්ටන් ගායන ශිල්පියෙකු වශයෙන් මෙන්ම මානව දයාවෙන් පිරි මිනිසෙකු වශයෙන් ද සංගීත ක්‍ෂේත්‍රයේ නියුතු සියල්ලන් අතරේ ජනප්‍රිය හිතවතෙක් වූවේ ය. ඔහු තරමට සිය සහෝදර ශිල්පීන්ට ආදරය කළ වෙනත් ගායන ශිල්පියෙකු පෞද්ගලිකව මා අත්දැක නොමැත. ඉන් එක් සිදුවීමක් හෝ මෙහිලා සටහන් කිරීම අගේ යයි සිතමි.

ම විසින් පද රචනය කළ “මේ දෙව් මැදුරෙ පුදසුන අබියස ඉඳ” ගීතය මුලින්ම ගායනයට මා දුන්නේ මිල්ටන්ට ය. එහෙත් වසර තුනක් පමණ ගතවී ගියත් ඔහු එය ගායනා කරන බවක් නොහැඟුණ හෙයින් පසුව එම ගීත පදමාලාව ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ හට ගායනයට දුන්නෙමි. ෂෙල්ටන් එම ගීතය පටිගත කළ සතියේම දිනෙක මිල්ටන්ගේ නිවෙසේදී ඔහු හමුවූ විටදී මම ඒ බැව් ඔහුට පැවසුවෙමි.

එවෙලේම ගෙතුළට ගොස් ගීත පදරචනා සහ ස්වර රචනා ලිපි අඩංගු ෆයිල් කවරයක් රැගෙන ආ මිල්ටන් එතුළින් මගේ “මේ දෙව්මැදුරෙ” ගීත පදරචනයත් ඊට සකස් කළ ස්වර රචනයත් සඳහන් කඩදාසි ගෙන මට දෙමින් “ලස්සන සින්දුවක්. මමත් හරි ආසාවෙන් මේ සැරේ කැසට් එකට කරන්න උන්නේ. ඒත් ෂෙල්ටන් කළා නම් මම මේක කරන එක හරි නැහැ.” යි පැවසුවේ හෘදයංගම කටහඬිනි. එදා ෂෙල්ටන් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසියා පමණකි.

එහෙත් මිල්ටන් ට තම සහෝදර ශිල්පියා ප්‍රවීණ ද නවක ද ලොකු ද පොඩි ද යන වග වැදගත් වූවේ නැත. ඔහු සැමට එක ලෙස සැලකුවේය. ඔහුගේ එම යහගුණය ඉස්මතු වූ තවත් සිදුවීමක් මගේ මතකයට නැඟේ. ඒ වරක් ගණේමුල්ලේ පැවැති සංගීත ප්‍රසංගයකදී ප්‍රවීණ ගායන ශිල්පී ජේ.ඒ.මිල්ටන් පෙරේරා සම්බන්ධ වූ සිද්ධියකි.

මිල්ටන් පෙරේරා ශිල්පියාණන් ඒ වන විට දැඩි අසනීප තත්ත්වයෙන් පසුවූ අතර එම ප්‍රසංගයේ ගී ගැයීමට අවස්ථාව පැමිණෙන තුරු ඔහු වේදිකාව පසෙකට වී බලා සිටියේ ය. වහාම ප්‍රසංගයේ සංවිධායකවරයා කැඳවූ මිල්ටන් සිය ප්‍රවීණ සහෝදර ශිල්පියා වෙනුවෙන් හඬ නැඟුවේය. “ඇයි මේ මනුස්සයාව මෙහෙම තියාගෙන ඉන්නේ?” ඊට සංවිධායකවරයාගේ පිළිතුර වූවේ කිසිදු ගායන ශිල්පියෙක් තමන්ගේ ‘වාරය’ මිල්ටන් පෙරේරාට පරිත්‍යාග කිරීමට එකඟ නොවන බවයි.

මිල්ටන් එවෙලේම තම වාරය සිය ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියා වෙනුවෙන් පරිත්‍යාග කර මිල්ටන් පෙරේරා වේදිකාව වෙත කැඳවාගෙන ගොස් ගී ගයන්නට අවස්ථාව උදාකර දුන්නේය. ඒ මිල්ටන් තුළ ජීවත් වූ මානව දයාවෙන් පිරි මිනිසා ය.

ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ මිල්ටන් මධු පානයට ද ලොල් වූ බැව් ඔහු ගැන දන්නා සැමට රහසක් නොවී ය.

විශේෂයෙන් ම බාලවියේ මව සමඟ වින්දා වූ දුක් වේදනාවන්ට නොදෙවැනි වන තරම් වේදනා මිල්ටන්ට උරුම කර දුන් සිටු කුමරියකට බැඳි පේ‍්‍රමයෙන් දායාද කර ගත් මධු පාන ලෝලීත්වයට ඔහුගේ ආධ්‍යාත්මයම කැප වුවේය.

මිල්ටන්ගේ ගීතයෙන් හෙළිවන වැලපෙන ආත්මයේ සත්‍යතාව එයම විය. ඒ සත්‍යතාව කලකට ඉහත සුනිල් මිහිඳුකුල සහෘදයාණන් විසින් අකුරු කළ අපූර්ව සටහනක් මා විසින් කියවන ලදී.

මිල්ටන් පිළිබඳව මා කියැවූ පරම සත්‍ය එහි සඳහන් වූ බැව් මගේ වැටහීමයි. මේ සමරු සටහන නිමා කරන්නට මෙතැන් සිට මම ඔබට එකී සත්‍ය සටහනින් කොටස් කිහිපයක් කියවමි.

”මා අසා ඇති පරිදි මිල්ටන් එක්තරා ආයතනයක සේවය කරද්දී එම ආයතනයේ හිමිකරුගේ දියණිය හා පෙමින් බැඳී ඇත. එහෙත් චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදින අවස්ථා ද ජීවිතයේ දක්නට ලැබේ. ඔවුන්ගේ ආදරයේ දුෂ්ටයා වූයේ පන්ති භේදය යි. ඇයට මිල්ටන් හා අතිනත ගන්නට ඇගේ දෙමව්පියෝ ඉඩ නොතැබූ හ.

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම බවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ළ‍ෙඳ්...!


(පද - කේ.ඩී.කේ.ධර්මවර්ධන)
කෙසේ වෙතත් මිල්ටන් 1973 දී ස්වර්ණා හා විවාහ වූවේ ය. එහෙත් අවසන් සුසුම් පොද හෙළන තුරුම ඔහුගේ සිතේ මනෝරම්‍ය බිතු සිතුවමක් සේ රැඳුණේ කුලුඳුල් පෙම්වතියගේ (පෙර අප කී සිටු කුමරියගේ) ඡායාව යයි මට සිතේ. මිල්ටන් අසීමිත ලෙස මත්පැනට ඇබ්බැහි වූයේ ය.

ඔහු අකාලයේ මියගියේ බීමත්කමෙන් බව මා අසා ඇත. ඔහුගේ ජීවිතය දවා අළු කළේ විසම සමාජ ක්‍රමයේ වරදක් වන දුෂ්ට පන්ති භේදය නොවන්නේ ද? මුදල් පමණක් ජීවිතය කොට තැකූ ගතානුගතික ධන හිමි පන්තිය නොවන්නේ ද?

ඔබ පැමිණී ඔබම ගියා
නැවතුණු තැන මා ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්...!


(පද – කරුණාරත්න අබේසේකර)
මිල්ටන් ඒ නැවතුණු තැන සිටන් මියයන තෙක්ම ගී ගැයුවේය. එය ඔහුගේ වැලපෙන ආත්මයේ ලසෝ ගීතය වූවේ ය.

මිල්ටන් මියගියේ කොළඹ පෞද්ගලික රෝහලකදීය. ඔහු තරුණ වියේදී රැකියාවක යෙදුණේ ද එම රෝහල අයත් සමූහ ව්‍යාපාරයේ ය. එම ව්‍යාපාර සමූහයටම අයත් රෝහලක ඔහු අවසන් හුස්ම හෙළීම දෛවෝපගත සිදුවීමකි.

මිල්ටන්ගේ මියුරු ගී හඬට වශීකෘත වූයේ හුදෙක් අපේ පරම්පරාව පමණක් නොවේ. ඇතැම් විට එදා පෙම්වතුන් වූ අපේ පරපුරේ අය පසුව විවාහ වී දරුමල්ලන් ද ලද කල්හි යොවුන් වියේ පෙම්වතුන් වූ ඒ දරුමල්ලන් ද මිල්ටන් ගේ ළයාන්විත ගී ඇසුවේ මහත් සේ ආශක්තවය. ඔවුන්ගේ ජීවිත ද රංජනය කිරීමට මිල්ටන් ගේ ගී හඬ සමත් වූයේ ය.”

ජෝජ් රොබ්සන් ද සිල්වා

Source : Silumina 2011/03/05
Back to top
View user's profile Send private message
chajee1983
Global Moderator
Global Moderator


Joined: Sep 30, 2010
Posts: 8197
Location: NJ, USA

PostPosted: Sun Mar 06, 2011 3:28 am    Post subject: Re:





Source : Lakbima 2011/03/06
Back to top
View user's profile Send private message
suji
Founder
Founder


Joined: Nov 12, 2007
Posts: 26407
Location: under world

PostPosted: Sun Mar 06, 2011 3:37 am    Post subject: Re:

එ මිල්ටන් නම් අදටත් ජීවමානයි කියල්යි මට නම් හිතෙන්නෙ..ඒ තරමට වටේ පිටේ එයාගෙ සින්දු තවමත් ඇහෙනවා.
_________________
Back to top
View user's profile Send private message Yahoo Messenger MSN Messenger
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Movies & Stars All times are GMT + 10 Hours
Goto page 1, 2, 3  Next
Page 1 of 3

 
Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group